මෙහෙම ගියොත් අපේ මාලිංගට සමු ගන්න වෙයිද ආයෙත් සිංහයා නැගිට්ටවන්න පුලුවන්නේ අපිටමයි බලන්නකො මේක අනිවාර්‍යෙන්
එකල කෙතරම් සුපිරි පිතිකරුවකු කඩුල්ලේ රැඳී සිටිය ද ඔහුගේ පන්දු වාර දෙක තුනක් ඉතිරි වී ඇති නම් තරගයේ වාසිය ඇත්තේ අප වෙත බව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වන අප දැන සිටියෙමු. ප්‍රතිවාදීන් ලකුණු හඹා යන අවස්ථාවල දී ජයග්‍රහණය කිරීමට අවශ්‍ය ලකුණු ගණන හා එම ලකුණු ලබා ගැනීමට ඉතිරි වී ඇති පන්දු ගණන අතර සැසඳීමක් කරන සෑම අවස්ථාවක දී ම ඔහු පිළිබඳව සඳහන් කිරීමට විචාරකයන් අමතක නොකළේ ඔහුගේ පන්දු වාර වලට ලකුණු හය හතකට වඩා ලබාගත නොහැකි බව සඳහන් කරමිනි. තම පන්දු හමුවේ හතරේ පහරක් හයේ පහරක් එල්ල වුව ද, ඔහු පිතිකරු දෙස බැලුවේ සිනහ මුසු මුහුණින් යුතුවය. එම සිනහව තුළ සැඟවී තිබූ භයංකාර බව හමුවේ පිතිකරුවන් සලිත වී ගියහ. ඔහු ලසිත් මාලිංග ය.
මම ඔබව මොහොතකට 2014 වසරේ 20/20 ලෝක කුසලාන අවසන් මහා තරගයට රැගෙන යමි. අප කතා නායකයා මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද භාරගෙන තිබුණි. පන්දුවට පහර දෙමින් සිටියේ සීමිත ඕවර තරගවල ලොව විශිෂ්ටතම පිතිකරු ලෙස නම් දරා සිටි විරාත් කෝලි හා 2011 ලෝක කුසලාන තරගාවලියේ දී තරගාවලියේ වීරයා සම්මානය දිනාගත් යුවරාජ් සිං ය. අප කතා නායකයා 18 වන පන්දු වාරයේ දී පන්දුව තම සුරතට ගත්තේ තමාට සුපුරුදු රාජකාරිය ඉටු කිරීමටය. ඔහු එහි දී භාවිතා කළ පිට ඉන්නට ඉවතින් යෝකර් ලෙන්ත් හි පන්දු යැවීමේ උපක්‍රමයට පිළිතුරක් සපයන්නට ඉන්දියානුවන්ට හැකි වූයේ නැත. යුවරාජ් පන්දුවට පිත්ත යොමු කරන්නටවත් අසමත් වන විට කෝලි අනෙක් අන්තයට වී අසරණ ලෙස බලා සිටියේය.
ඉන් පසුව යළිත් 20 වැනි පන්දු වාරය යැවීම සඳහා අප කතා නායකයා පැමිණෙන විට විරාත් කෝලි සමඟ අනෙක් අන්තයේ කඩුල්ලේ රැඳී සිටියේ ලොව විශිෂ්ටතම ඉනිම අවසාන කරන්නා ලෙස හැඳින්වෙන ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක M. S. දෝනි ය. ඔහුගේ පන්දු හමුවේ දෝනි තම උපරිම ජවය යොදා පිත්ත වැනූ නමුත් පන්දුව හතරේ සීමාවෙන් ඔබ්බට යැවීමට එම ජවය ප්‍රමාණවත් නොවීය. එය දුටු ඇතැම් මධ්‍යස්ථ විචාරකයන් දෝනි මෙලෙසින් අසරණ වනු තමන් කිසිදා දැක නොමැති බව ද පවසන ලදි. 18 හා 20 වන පන්දු වාර වලට පිළිවෙළින් ලකුණු 4ක් හා 7ක් පමණක් ලබා දෙමින් එදින ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් මෙහෙයවන්නට අප කතා නායකයා සමත් විය. ඔහු ලසිත් මාලිංග ය.ඔහු සටන්කාමියෙකි. ඔහු සටන් කළේ ප්‍රතිවාදී ක්‍රීඩකයින් සමඟ පමණක් නොවේ. තම ක්‍රීඩා දිවිය පුරා විටින් විට මතු වූ දණහිස් ආබාධය, ඇතැම් ක්‍රීඩා පරිපාලකයින්, ඇතැම් ක්‍රීඩා මාධ්‍යවේදීන් සමඟත් ඔහු සටන් කළේය. මේ සියලු සටන් මැද ඔහු තම කර මතින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ වාර ගණන මෙහි සඳහන් කළ යුතු නොවේ.
ඔහු විශිෂ්ටයෙකි. ඒ පිළිබඳව තර්කයක් නැත. සීමීත ඕවර තරග රටාව තුළ එදා මෙදාතුර පහළ වූ විශිෂ්ටතම අවසන් පන්දු වාර යවන්නා ඔහුය. ලොව පුරා නම් දැරූ පිතිකරුවන් බොහොමයක් දණින් වැට්ටවූ පන්දු යවන්නා ඔහුය. පිට පිටම පන්දු හතරක දී කඩුලු හතරක් දවාගත් ලොව එකම පන්දු යවන්නා ඔහුය. කඩුලු ත්‍රිත්වයන් තුනක් දවාගත් ලොව එකම පන්දු යවන්නා ඔහුය. ලෝක කුසලාන කඩුලු ත්‍රිත්ව දෙකකට හිමිකම් කියන එකම පන්දු යවන්නා ඔහුය. එක්දින ජාත්‍යන්තර තරගවල නව වැනි කඩුල්ල සඳහා වැඩිම ලකුණු සබඳතාවයට සම හිමිකම් කියන්නේ ඔහුය. ඔහු ලසිත් මාලිංග ය.
වර්තමානය ගැන මම කිසිවක් නොලියමි. එය ලියා කියවා ගැනීම ඔබට භාරය. නමුත් ඔහුගේ නාමය ලෝ වටා ක්‍රිකට් ඉතිහාස පොත් තුළ හා ප්‍රේක්ෂක හදවත් තුළ රන් අකුරින් සටහන් වී හමාරය. වර්තමානය ඔහු අමතක කර දැමූව ද අනාගතයේ ක්‍රිකට් ඉතිහාසය යළි කියවෙන යම් දිනෙක ඔහුගේ නාමය යළිත් කරළියට එනු ඇත. එදිනට රත්ගම ඉපිද ලොවක් ජය ගත් සටන්කාමී තරුණයා සුපුරුදු සිනහමුසු මුහුණින් යුතුව බලා සිටිනු ඇත.
Comments
Post a Comment